Skip to content

රක්ත රුහිරු

සැමට සාධාරණ සමාජයක්

පසුගිය සතියේ ආණ්ඩුවේ පුවත්පත් වල සහ තවත් පුවත්පත් කීපයක දේශීය වෛද්‍යවරුන් සිව්දෙනෙකු පිළිබඳ ප්‍රවෘත්ති ගණනාවක් පළවිය. එම ප්‍රවෘත්ති වලින් කියැවුනේ ගම්පහ මැදගම විහාරස්ථානයක පවත්වන්නට සූදානම් කර තිබූ දේශීය වෛද්‍ය සායනය ගැනය. එහි සේවයට යොදවා සිටි විශේෂඥ දේශීය වෛද්‍යවරියන් සිව්දෙනෙකි. ප්‍රවෘත්ති වලට අනුව ඔවුන් සිව්දෙනා පාවහන් දමාගෙන සායනය පැවති ගොඩනැගිල්ලට ගොස් ඇත. මේ ‘අතිශුද්ධ වූ පූජනීය‘ භූමියේ පාවහන් දමාගෙන නොයන ලෙස විහාරාධිපති හිමියන් අවවාද කර ඇත. වෛද්‍යවරියන් එම අවවාදය නිසා කිපී ඇත. ඉන් අනතුරුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත් වෑන් රථයකට ගොඩ වී පැය 5 ක් පමණ එහි රැඳී සිට ඇත. ඔවුන් දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා‍ගේ වචනයට පවා අවනත නොවී මෙසේ සිට ඇත.
මේ කතාව තමන්ගේ රුචිකත්වය අනුව වාර්තා කළා පමණක් නොවේ. සිළුමිණ පුවත්පතේ 3 වැනි පිටුවෙන් වැඩි ඉඩක් වෙන් වී තිබුණේ ද ඒ සඳහාය. එමෙන්ම ‘දේශප්‍රේමී‘ කතුවරයෙකු කතුවැකියක් ද ලියා තිබුණි. එයට අනුව මෙම වෛද්‍යවරියන් වැලි කැටයක් පෑගීමට නොහැකි අයය. කුර රෝගයක් වැළඳී ඇති තැනැත්තියන්ය. ලාඩම් ගසා ඇති තැනැත්තියන්ය. මෙය සිදු වී යැයි කියන්නේ පසුගිය 30 දාය. ඒ පිළිබඳ විවිධ පුවත් මේ ලියන මොහොත වන විටත් පළවේ. ඒ සියලු ප්‍රවෘත්ති සහ විශේෂාංග වලට අනුව මෙම වෛද්‍යවරියන්ට ගල් ගැසිය යුතු බව තහවුරු කර ඇත.
ඒ අතර 08 වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි පනතක් සම්මත කර ගත්තේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වන සංශෝධනය එක් කිරීමයි. දේශීය වෛද්‍යවරියන් ගැන සඳහන් කරන අතර 18 වන ව්‍යවස්ථා සංශෝධනය පටලවා ගත්තේ මන්දැයි බොහෝ දෙනෙකු සිතනු ඇති. මේ ක්‍රියාකාරකම් දෙක අතර අන්තර් සම්බන්ධයක් පවතී. අපට වඩාත් වැදගත් වන්නේ එම අන්තර් සම්බන්ධයයි.
ඉහත සඳහන් කළ වෛද්‍ය සායනය සූදානම් කර තිබුණේ දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ උපන් දිනය වෙනුවෙනි. අරමුණ කුමක් වුවත් දේශීය වෛද්‍යවරියන් රෝගීන් සුවපත් කිරීමේ සත්කාර්යයට එහි ගියෝය. වෛද්‍ය සායනයක් පැවැත්වීමට කිසිසේත්ම සුදුසු ලෙස අදාළ ස්ථානය සකසා නොතිබිණි. පසුව වෛද්‍යවරියන් ඇතුළු දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් අවශ්‍යතා සම්පූර්ණ කරගෙන රෝගීන් 150 කට වඩා වැඩි පිරිසකට ප්‍රතිකාර ලබා දී ඇත. සංවිධායකයන්ගෙන් කහට උගුරක් පවා ලැබී නොමැත. බැරිම තැන ඒ ගැන විමසීමේ දී කිරි පැකට් එකක් සහ බනිස් ගෙඩියක් මේස උඩට බෙදාගෙන ගොස් තිබුණි. දහවල් ආහාර සපයන ලකුණකුදු තිබී නැත. 12.30 වන විට සිටි රෝගීන් සියල්ලටම ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව දිවා ආහාරයට යාමට වාහනයට ගොඩ වී රියැදුරු පැමිණෙන තෙක් රැඳී ඉඳ ඇත. මේ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා මෙම විහාරයට පැමිණ උපන්දින සුබපැතුම් පිළිගෙන ඇත. එසේ සුබ පැතීමට යන්නැයි ඇමතිවරයාගේ ජනමාධ්‍ය ලේකම් යැයි කියාගත් තුෂාර සඳරුවන් නමැති පුද්ගලයා වෛද්‍යවරියන්ට තර්ජනය කර ඇත. අදාළ සත්‍ය සිද්ධිය එයයි.
එහෙත් තුට්ටු දෙකේ දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් ළඟ දණින් නොවැටී කොන්ද කෙළින් තියාගෙන තම සේවය අකුරට ඉටු කළ මෙම වෛද්‍යවරියන්ට එරෙහිව ඉතා නින්දිත මාධ්‍ය ප්‍රහාරයක් දියත් කර තිබුණි. ඒ දේශපාලන බලය යොදාගෙනය. මෙහි දී වෛද්‍යවරියන්ට තම නිර්දෝෂීභාවය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට පවා අවස්ථාවක් නොලැබුණි. ඒ ආයතන සංග්‍රහයට අනුව මාධ්‍යයට අදහස් පළ කිරීම අවුරා තිබීම නිසාය.
මේ තත්වයන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සමග සම්බන්ධ වන්නේ කෙසේද? මෙම සංශෝධනය තුළින් රාජ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම ඇමතිවරයාගේ අභිමතයට යට කර ඇත. 18 වන සංශෝධනයට පෙර සිදු වූ මෙම සිද්ධිය සංශෝධනයෙන් පසු රටේ අනාගතය පිළිබඳව ගෙන එන අතිබිහිසුණු තත්වය පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට පූර්විකාවක් බව සටහන් කර තබමු.
(ස්පාටකස් ලංකා 2010-09-12)
Advertisements

ශ්‍රී ලංකාව බිහි කළ ලෝක පූජිත දඟ පන්දු යවන්නා පසුගියදා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේය. ඒ පිළිබඳව බොහෝ දෙනා බොහෝ සටහන් ලියූවාට සැකයක් නැත. එක් අතකින් ජාතික අසමගියේ අමිහිරි අත්දැකීම් ඇති රටක මුරලි වැනි ශ්‍රී ලාංකිකයෙක් ක්‍රීඩාව තුළ ජාතික සමගියට සිදු කළ මෙහෙය ඔහු දවාගත් කඩුලු සේම ඉතා වැදගත්ය. අනෙක් අතට සමාජීය ජයග්‍රහණයන් අහිමි රටකට ක්‍රීඩාවේ ලෝක පූජිත වාර්තා රැගෙන ඒම අසම සම ක්‍රියාවලියකි.

බොහෝ දෙනා පවසන පරිදි මුරලි වැනි ක්‍රීඩකයෙකු නැවත බිහි නොවන බව සැබෑය. කන්ද උඩරටින් මුරලි වැනි ක්‍රීඩකයෙකු බිහි වූවාට වතුකරයේ දරිද්‍ර දෙමළ කම්කරු පවුල් වල කිසිදු දරුවෙකු අඩුම තරමින් ජනප්‍රිය ක්‍රීඩා සමාජයකටවත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගෙන නැත.

වතු පාසල් වල ක්‍රිකට් තණතීරු තබා, වොලිබෝල් පිට්ටනියකටවත් ඉඩ නැත. උපකරණ නොමැත. ක්‍රීඩා ගුරුවරු නොමැත. අඩුම තරමින් සාමාජීය සංවර්ධනයේ මූලික අවශ්‍යතාවයක් වන ක්‍රීඩා සඳහා වතු ජනතාවට කිසිදු පහසුකමක් හෝ ඉඩකඩක් නොමැත. තවමත් ඔවුන් මේ රටේ පුරවැසියන් නොවන්නේ ඒ නිසාය.

වතුකරයේ දරුවන්ට, හම්බන්තොට, මොණරාගල දරුවන්ට, ඈත ඌව වෙල්ලස්සේ දරුවන්ට, දිගාමඩුල්ලේ දරුවන්ට ශාරීරික අධ්‍යාපනය සඳහා ඉඩකඩක්, ක්‍රීඩාවේ යෙදෙන්නට අවකාශයක් කිසිදාක මේ ධනපති ක්‍රමයට ලබා දෙන්නට පුළුවන් කමක් නැත.

වතුකරයේ අකලට පිපී පරවෙන දහසක් මුරලිදරන්ලා අතර මේ මුරලි, ධනපති ක්‍රමය තුළ අහම්බයක් මිස අනිවාර්යයක් ‍නොවේ. ඒ නිසා නැවත මුරලිදරන්ලා බිහි කිරීමට ධනවාදයට නොහැක.

සැමට සාධාරණත්වය ඉටු වන සමාජයක් බිහි වනු දැකීමේ බලාපොරොත්තුව ඇතිව මගේ අදහස් හා වෙනත් දෑ ඉදිරිපත් කිරීමට මෙම අඩවියෙන් බලාපොරොත්තු වෙමි. රැ‍‍ඳෙන්න මා සමග… වෙනස් කරන්න කුරිරු සමාජය…

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!